රත්නපුර අධි අවධානම් තත්වයක..!
"රෝග ලක්ෂණ සහිත, කොවිඩ් රෝගීන් වැඩිවශයෙන් වාර්තාවීම අවධානම්."
රත්නපුර වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය ලක්මාල් කෝණාර මහතා.
රෝග ලක්ෂණ සහිත, කොවිඩ් රෝගීන් රත්නපුර දිස්ත්‍රික්කයෙන් වැඩිවශයෙන් වාර්තාවීම අතිශය අවධානම් තත්ත්වයක් බව රත්නපුර වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය ලක්මාල් කෝණාර මහතා පැවසීය.
ඒ මහතා මේ බව පැවසුවේ රත්නපුර දිස්ත්‍රික් කොරෝනා වෛරස් මර්දන කාර්යය සාධක බලකා කමිටුව අමතමිනි. අද දින එනම් 2021.02.15 දින රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේදී, සබරගමුව පළාත් ගරු ආණ්ඩුකාරවර ටිකිරි කොබ්බෑකඩුව මැතිතුමාගේ හා රත්නපුර දිස්ත්‍රික් ලේකම්/ මහ දිසාපතිනි මාලනී ලොකුපෝතාගම මැතිණියගේ ප්‍රධානත්වයෙන් මෙම කමිටුව පැවැත්විණි.
මෙහිදී වැඩිදුරටත් කරුණු පැහැදිලි කළ වෛද්‍ය ලක්මාල් කෝණාර මහතා මෙසේ පැවසීය. පසුගිය මාස කිහිපය පුරා රත්නපුර දිස්ත්‍රික්කයෙන් වාර්තාවුණු කොවිඩ් ආසාධිත පුද්ගලයින්ගෙන් අති බහුතරයකට රෝග ලක්ෂණ පෙන්නුම් කළේ නෑ. ඒ හේතුවෙන්ම මෙම රෝගය තවත් කෙනෙකුට බෝවීවේ හැකියාව පැවතුණේ අවම මට්ටමක. නමුත් පසුගිය දිනවල හඳුනාගත් රෝගීන් බහුතරයකටම රෝග ලක්ෂණ පෙන්නුම් කිරීම අතිශය අවධානම්. උදාහරණයක් ගෙනහැර දැක්වුවහොත් කැස්ස පවතින පුද්ගලයා තමයි කහින්නේ එවිට මෙම රෝගය සීඝ්රයෙන් පැතිරිය හැකියි. කැස්ස නැති පුද්ගලයා කහින් නෑ. එවිට මෙම රෝගය තවත් පුද්ගලයෙකුට බෝවීමේ හැකියාව පවතින්නේ අවම මට්ටමක.
එමෙන්ම යම් පමණකට පාලනය වෙලා තිබුණ අවිස්සාවේල්ල බ්‍රැන්ඩික්ස් කර්මාන්ත ශාලාවෙන් නැවත රෝගීන් වාර්තාවනවා. මේ තත්ත්වය සෘජුවම ඇහැලියගොඩ, කුරුවිට වැනි ප්‍රදේශවලට බලපානවා. එමෙන්ම පසුගිය දිනවල දිස්ත්‍රික්කයේ විවිධ බැංකුවල සේවය කරන නිලධාරීන් කිහිප දෙනෙකුටම කොරෝනා වෛරසය වැළදුණා. එමනිසා ප්‍රබල සැකයක් පවතිනවා අතිනත යන මුදල් ගනුදෙනු කිරීම මගින් මෙම වෛරසය වැළදුණාදෝ කියා. එබැවින් සියලූම දෙනාගෙන් ඉල්ලා සිටිනවා විශේෂයෙන් මුදල් ගනුදෙනු කරන සෑම අවස්ථාවකදීම දෑත් පිරිසිදු කාරකයක් භාවිතා කර දෑත් පිරිසිදු කර ගන්නා මෙන්. එමෙන්ම වෙළඳසැල්වලට ඇතුළු වන විට පමණක් නොව ඉන් පිට වන විටත් දෑත් පිරිසිදු කර ගත යුතුමයි.
එමෙන්ම රාජ්‍ය හා පෞද්ගලික ආයතනවල මෙන්ම පාසැල්වලද ආහාර ගන්නාවිට සෑම දෙනාම එකට එක්ව ආහාර නොගෙන නියමිත දුර ප්‍රමාණය තබා ගැනීම අත්‍යවශ්‍යය. සෑම විටම සුදුසු මුව ආවරණයක් පැළදීම කළ යුතු බවද එමෙන්ම එය නිවැරදිව පැළදිය යුතුබවද වෛද්‍ය ලක්මාල් කෝණාර මහතා වැඩිදුරටත් පැවසීය.
මෙම අවස්ථාවට රත්නපුර අතිරේක දිස්ත්‍රික් ලේකම් ජී.ඩී.එල්. උදය කුමාරි, රත්නපුර ශික්ෂණ රෝහලේ අධ්යක්ෂ වෛද්‍ය අනෝජ් රොඩ්රිගෝ, රත්නපුර සහකාර අධ්යක්ෂ (ආපදා) මුදිත මංජුල යන මහත්ම මහත්මීන් ඇතුළු දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් මහත්ම මහත්මීන්, ආරක්ෂක අංශ නිලධාරීන්, පොලිස් නිලධාරීන්, අත්‍යවශ්‍ය සේවා සපයන රාජ්‍ය ආයතනවල ප්‍රධානීහු රැසක් ද සහභාගී වූහ.
දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය - රත්නපුර.
Comments
Post a Comment